Thursday, November 28, 2024

General line - 0115112241

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායකතුමන්ගේ ජන්ම දිනය අද




ඉස්ලාම් බැතිමතුන්ගේ ගෞරවයට පත් මුහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

ලොව සියලු ජනතාවට දයාව, මෛත්‍රීය සහ කරුණාව රැගෙන ආ චරිතයක් ලෙස නබිතුමන් හැදින්විය හැකි බවයි තිහාරිය ඉබ්රාහීම් මස්ජිදයේ ප්‍රධාන උපදේශක අශ් ෂේයික් මුනීර් මුලෆ්ෆර් පැවසුවේ.

මේ අතර ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් සමරන මුහම්මද් නබිතුමන්ගේ උපත සැහි ගැන්වෙන මිලාදුන් නබි දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අන් අය අතර විශ්වාසය ගොඩනගාගත් මුහම්මද් නබිතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත බවයි.

ස්වකීය ජීවිතය පුරා එතුමන් සුරැකි ගුණාංග හා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපරිමිත බවත්, අන්‍යෝන්‍ය අවබෝධය, සාධාරණත්වය, සහජීවනය සහ එකිනෙකාට වෛර නොකිරීම මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරය බවත් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් සදහන්. 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මිලාදුන් නබි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරද්දී, එකී දර්ශනය තුළින් සමාජයේ සහජීවනය ඇති කිරීම එතුමන්ට ගෞරව දැක්විය හැකි නිසි මාර්ගය බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මිලාදුන් නබි පණිවිඩය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

දුසිරිතෙන් පැවති ලෝකය සුචරිතවත් කිරීමට කැප වූ ආධ්‍යාත්මික නායකයෙකු ලෙස මුහම්මද් නබි නායකතුමන් සැලකිය හැකියි.

උන්වහන්සේ විසින් ලොව පුරා බෙදා හරින ලද ධර්මය තුළින් අපට ද ලබාගත හැකි කරුණු රැසක් පවතින බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් දැක්වුණේ.