Thursday, September 19, 2024

General line - 0115112241

ට්‍රම්ප් ඝාතනයට තැත් කිරීමේ දෙවන කුමන්ත්‍රණය ගැන පුළුල් විමර්ශන




අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කිරීම සඳහා දෙවන වරටත් උත්සාහ ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂ අංශ පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ෆ්ලෝරීඩාහි පිහිටි ගොල්ෆ් ක්‍රීඩා පිටියකදී ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා තුවක්කුකරුවෙකු සිටි බවට හඳුනාගත් අමෙරිකානු ආරක්ෂක අංශ ඒ දෙසට වෙඩි තැබීමත් සමඟ අදාළ සැකකරු සිය ගිනි අවියද එම ස්ථානයේ දමා පලාගොස් තිබුණා.

පසුව අමෙරිකානු ආරක්ෂක අංශ විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණු අතර 58 හැවිරිදි සැකකරු රයන් රූත් නැමැත්තෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ඔහු පැය 12කට අධික කාලයක් ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා ට්‍රම්ප් ක්‍රීඩා කරමින් සිටි ගොල්ෆ් පිටිය ආසන්නයේ රැඳී සිට ඇති බවයි

අමෙරිකානු ආරක්ෂක අංශ අනාවරණ කරගෙන ඇත්තේ.

ඒ කේ 47 වර්ගයේ රයිෆලයක් සැකකරු එම ඝාතන කුමන්ත්‍රණය සඳහා යොදාගෙන ඇති බව ද අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද අමෙරිකානු මාධ්‍ය ප්‍රචාරය කර තිබෙනවා.

රයන් රූත් නැමති එම සැකකරු 2020 වසරේදී  ඩිමොක්‍රටික් පක්ෂයට සුළු වශයෙන් මුදල් ආධාර ලබාදුන් අයෙක් බවද අමෙරිකානු ආරක්ෂක අංශය හෙළි කරගෙන තිබෙනවා.

එමෙන්ම එම සැකකරු රුසියානු - යුක්‍රේන යුද්ධයේදී යුක්‍රේනයට සහාය දක්වන අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.