Friday, September 20, 2024

General line - 0115112241

බදු ආදායම් වැඩිකර ගන්නේ කොහොමද




අනාගතයේදී බදු ආදායම තවදුරටත් වැඩි කර ගැනීමට නම් සැලකිය යුතු ආකාරයෙන් ආර්ථිකය වර්ධනය කර ගත යුතු බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසුවේ මේ වනවිට ඉහළ බදු ආදායමක් පැවතුන ද සැලකිය යුතු ආකාරයෙන් වක්‍ර බදු ඒ තුළ ඇතුළත් බවයි.

සැලකිය යුතු ආකාරයට ආර්ථික වර්ධනයක් රට තුළ ඇති කිරීම සඳහා රජය විසින් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද නෙත් නිවුස් කළ විමසීමකදී මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර මෙම වසරේ අගෝස්තු 31 වනදා දක්වා කාලසීමාව තුළ රුපියල් මිලියන දොළොස් ලක්ෂ 29,245ක බදු ආදායමක් රැස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 

එය පසුගිය 2023 වසරේ එම කාලයට සාපේක්‍ෂව සියයට 28යි දශම 5ක වර්ධනයක් බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකරගේ අත්සනින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වුණේ.

ඒ අනුව 2023 වසරේ ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 31වනදා දක්වා කාලය තුළ රැස් කර ඇති සමස්ථ බදු ආදායම රුපියල් මිලියන නව ලක්ෂ 56, 418ක් වනවා. 

එය අබිබවා යමින් 2024 වසරේ සියයට 28යි දශම 5ක වර්ධනයක් අත් කර ගැනීමට රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වීම බලපෑ බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.

බදු ප්‍රතිපත්තියේ සිදුවූ සාධනීය වෙනස්වීම් සහ බදු පරිපාලනයේ කාර්යක්‍ෂමතාව මෙන්ම බදු ගෙවන්නන්ගේ අනුකූලතා වර්ධනයද බදු ආදායම් වර්ධනයට හේතු වී ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.