Friday, September 20, 2024

General line - 0115112241

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹෙයි




2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පෙරවරු 10ට ආරම්භ කළ බවයි දිස්ත්‍රික් ලේකම් ජී පී ජනක කුමාර මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කෙරුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිටයි.

කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ඡන්ද මධ්‍යස්ථාන වෙත කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1,204කට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරෙනවා. 

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ඡන්ද මධ්‍යස්ථානවලට අදාළ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම තවත් නොබෝ වේලාවකින් අවසන් කිරීමට හැකි වන බවයි දිස්ත්‍රික් ලේකම් එල් ඩබ්ලිව් එම් මාපලගම ගමගේ මහතා පැවසුවේ.    

කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව දිස්ත්‍රික් ලේකම්  ජී එම් ජේ කේ ගුණවර්ධන මහතා නෙත් නිවුස් වෙත කියා සිටියා. 

 

 

 

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 715ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා.

මාතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 526ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මාතර රාහුල විද්‍යාලයේදී ආරම්භ වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ. 

අනුරාධපුර දිස්ත්‍රික්යේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පෙරවරු 09ට ආරම්භ කළ බව නෙත් නිවුස් කළ විමසීමකදී දිස්ත්‍රික් ලේකම් කේ ජී ආර් විමලසූරිය මහතා කියා සිටියා. 

මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 890ක් ක්‍රියාත්මකයි.

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය පිළිබඳ නවතම තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්. 

 

 

 

වව්නියාව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මේ වන විට අවසන් බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

 

මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම තවදුරටත් සිදු වන බවයි දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය කියා සිටියේ.