Monday, September 23, 2024

General line - 0115112241

ඉන්දියාව, අමෙරිකාව, චීනය ඇතුළු රටවල් රැසකින් සුබ පැතුම්




9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ, සිය X ගිණුමෙහි සටහනක් තබමින්.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සමග සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට අප්ක්ෂා කරන බවයි.

ඊට අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සිය X ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාරුණික වචන සහ සහයෝගයට ස්තූතිය පළ කරන බවයි. 

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කර තිබෙනවා.

බත්තරමුල්ල ජාතික ජනබලවේගය පක්‍ෂ කාර්යාලය වෙත පැමිණ ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී එලෙස සුබ පැතුම් එක් කළා.

චීනය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කර තිබෙනවා.  

මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු සහ පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් ද ජනාධිපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා.

මේ අතර දෙරට අතර මිත්‍රශීලි සබදතාවය තවදුරටත් වර්ධනය කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සමීපව කටයුතු කරන බව ජපාන තනාපති මිසුකොෂි හිදෙඅකි පවසනවා. 

ඒ, ජනාධිපති ධූරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපැතුම් එක් කරමින්.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපතිවරයා පෙන්වා දෙන්නේ ආර්ථික හා සමාජීය ඉලක්ක මෙන්ම, ශක්තිමත් සබදතාවයන් සාක්ෂාත් කර ගැනීම සදහා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පරිපාලනය සහ ශ්‍රී ලංකාවාසී ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ජපානය සූදානම් බවයි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අමෙරිකානු තානාපතිනි  ජූලි චංග්ද සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඒ, එක්ස් පණිවිඩයක් නිකුත් කරමින්. ශ්‍රී ලංකාව සමග එකට වැඩ කිරීමට අමෙරිකාව සුදානම්ව සිටින බවයි ඇය නිකුත් කළ එක්ස් පණිවිඩයේ දැක්වෙන්නේ.