Tuesday, October 1, 2024

General line - 0115112241

විදෙස් ගමන් බලපත්‍ර තොගය දින 30 කින් අවසන් වන ලකුණු

උදය කුමාර




සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේද එකඟත්වය ඇතිව වෙනස් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.

ඒ අනුව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට වග උත්තරකරුවන්ට අවසර හිමිවන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ වුණා.

කෙසේවෙතත් ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය මීළඟ නඩු දිනය දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය තීන්දු කළා.

ඒ, “එපික් ලංකා පුද්ගලික සමාගම” විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක් සහ ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීම වළක්වාලමින් අද දින තෙක් බලපවත්වන පරිදි අතුරු තහනම් නියෝග දෙකක් ඉකුත්දා නිකුත් කර තිබුණා.

ඒ අනුව අදාල පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන  මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී අදාල පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ   ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. 

දැනට නිකුත් කර තිබෙන මෙම අතුරු තහනම් නියෝගය හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබෙන බව ඔහු සඳහන් කර සිටියා.

මේ වනවිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින්නේ හිස් විදේශ ගමන් බලපත්‍ර 13,880 ක්  පමණක් බවත් අධිකරණයට දැනුම් දුන්නා.  

එම ප්‍රමාණය උපයෝගී කරගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකිවන්නේ වැඩ කරන දින 30 කට පමණක් බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසවේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම  විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය අවසන් වීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පෙන්වා දුන්නා.

මේ තුළින් විදේශ රැකියා, වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු විවිධ කාරණා සඳහා විදේශ ගත වීමට බලාපොරොත්තු වන මහජනතාවට දැඩි අසීරුතාවන්ට මුහුණ පෑමක සිදුවී ඇති බවත් අනතුරු අඟවා සිටියා. 

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හදිසි පදනමක් යටතේ මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් ඔහු පෙන්වා දුන්නා.

එම නිසා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට හැකි වන පරිදි   දැනට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඒ අනුව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීම වළක්වාලමින් මේ වන විට පනවා තිබෙන අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ ද එකඟත්වය ඇතිව වෙනස් කිරීමට අධිකරණය තීන්දු කළා. 

මේ අතර පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විදෙස් ගමන් බලපත්‍ර ඇණවුම් කිරීමට ගෙන තිබූ තීරණය සහ වත්මන් කැබිනට් මණ්ඩලය අදාළ ගැටලු විසඳීමට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් අද දිනයේ අදහස් පල වුණා.

මේ අමාත්‍ය මණ්ඩල දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්න්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්.


මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් බී එම් ඩී නිලූෂා බාලසූරිය මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.  

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාර ගතකිරීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩු වුණා.