Friday, October 11, 2024

General line - 0115112241

අද සිට අඩු වන ගාස්තුව අඩු නොකරන බස්වලට තද නීති




අද සිට ක්‍රියාත්මක නියමිත බස් ගාස්තුව ඉක්මවා මුදල් අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එලෙස නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳ දැනුම්දෙන ලෙසයි එම කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටියේ. 

එලෙස කටයුතු කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 25 95 555 වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට හා පළාත් සභා බස්රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු  සියයට 4යි දශම 2යි 4කින් සංශෝධනය කෙරුණා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියලකින් පහළ දැමුණු අතර එහි නව බස් ගාස්තුව රුපියල් 27ක් වනවා.

රුපියල් 2,267ක් වන වැඩිම බස් ගාස්තුව රුපියල් 2,170ක් දක්වා පහළ දමන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ.