Tuesday, November 26, 2024

General line - 0115112241

රාජපක්ෂ පවුලේ ප්‍රබලයින් මැතිවරණයට නැහැ - නාමලුත් ජාතික ලැයිස්තුවෙන්




එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරඟ නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ජ්‍යේෂ්ඨ  ප්‍රකාශකයෙකු පැවසුවේ හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද මහමැතිවරණයට තරඟ නොකරන බවයි.

ඉකුත් ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ මහතාද මහමැතිවරණයේ අපේක්ෂකයෙකු නොවන අතර ඔහුගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මෙවර මහමැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් හෝ ඉදිරිපත් වන්නේ නැහැ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා. 

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මොණරාගලින්ද නිපුන රණවක මහතා මාතරින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ නමද ඇතුළත් කර ඇත්තේ ජාතික ලැයිස්තුවේයි. 

මේ අතර හිටපු අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මහතාද මෙවර මහමැතිවරණයට තරඟ නොකරන බවයි ඔහු නියෝජනය කරන මව්බිම ජනතා පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේ.