Tuesday, November 26, 2024

General line - 0115112241

මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 21ක් නාවික හමුදා භාරයට




මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

එම මෙහෙයුමේදී ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

නාවික හමුදා භාරයට පත්වූ පිරිස යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදු කරමින් සිටි බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හතර සහ ධීවරයින් පිරිස කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.

මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 59ක් සහ ඉන්දීය ධීවරයින් 434 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.