Friday, October 11, 2024

General line - 0115112241

පවතින වැසි තත්ත්වය තවදුරටත් - හංවැල්ලට මිලිමීටර් 276ක වර්ෂාවක්




දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ. 

මේ අතර අද පෙරවරු 8 යි 30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එහි අගය මිලි මීටර් 276ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඇහැළියගොඩ ප්‍රදේශයට මිලිමීටර් 248 යි දශම 5ක්, ගාල්ල, බෙන්තොටවත්ත ප්‍රදේශයට මිලිමීටර් 210යි දශම බින්දුවක්, වතුපිටිවල ප්‍රදේශයට 208යි දශම 5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. 

මේ අතර කැලණි, කළු, ගිං සහ අත්තනගලුඔය ගංගාවල මධ්‍යම ධාරා ප්‍රදේශවල සහ ඉන් පහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස් පී සී සුගීෂ්වර මහතා.

ගංවතුර අවදානමකට ලක්විය හැකි ප්‍රදේශ පිළිබඳවද ඔහු කරුණු දැක්වූවා. 

කොළඹ අවිස්සාවේල්ල අලුත් මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු වනවා.

එම මාර්ගයේ ඇස්වත්ත හන්දියේ සිට හිඟුරල හන්දිය දක්වා කොටස ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.