Wednesday, October 16, 2024

General line - 0115112241

තායිවානය චීන වෙරළාරක්ෂක නෞකා නෙරපා හරියි




තායිවානය විසින් Matsu දූපත් අසල එහි සීමා සහිත ජලයට ඇතුළු වූ චීන වෙරළාරක්ෂක නෞකා හතරක් නෙරපා හැර තිබේ.

ඒ තායිවානය වටා චීනය ක්‍රියාත්මක කළ හමුදා අභ්‍යාසයෙන් අනතුරුවයි.

තායිවානයේ වෙරළාරක්ෂක පරිපාලනය නන්ගන් දූපත අසල චීන වෙරළාරක්ෂක නෞකා දෙකක් සහ ඩොංගින් දූපත අසල තවත් දෙකක් හඳුනා ගත් බව වාර්තා කළේය. 

චීන යාත්‍රා Matsu හි සීමා සහිත ජලයට ඇතුල් වීමෙන් පසුව, තායිවානයේ වෙරළාරක්ෂක පරිපාලනයේ Kinmen-Matsu-Penghu ශාඛාව තත්වය නිරීක්ෂණය කිරීම සඳහා මුර සංචාර බෝට්ටු හතරක් යවා ඇත.

තායිවාන මාධ්‍ය වාර්තා අනුව, මෙම සිද්ධියත් සමග මේ වසරේ තායිවානයේ පාලිත ජලයට ඇතුළු වූ මුළු චීන ආක්‍රමණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ අනුව තායිවානය පවසන්නේ “අසාමාන්‍ය” චීන වෙරළාරක්ෂක ක්‍රියාකාරකම් විසඳීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බවයි.

චීන නෞකා කිහිපයක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව තරණය කරමින් තායිවානයේ වෙරළ තීරයේ විවිධ ප්‍රදේශ අසල සැරිසඅන බවත් ඊට ප්‍රතිචාර වශයෙන්, මෙම ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේදී ජාතික ආරක්ෂක අමාත්‍යාංශයට සහාය වීම සඳහා වෙරළාරක්ෂක බලකාය විසින් මුර සංචාර යාත්‍රා යොදවන ලද බවත් වාර්තා වේ..

මේ අතර තායිවාන මුහුදු සීමාවේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ද තායිවානය පවසයි.