Friday, October 18, 2024

General line - 0115112241

හමාස් නායකයාගේ ඝාතනය ගැන හිස්බුල්ලා සංවිධානයෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්




ගාසා තීරයේ දී හමාස් නායක යහියා සින්වාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලෝක බලවතුන් රැසක් ඊශ්‍රායලයට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ නව හමාස් නායක යහියා සින්වාර් ඝාතනය කළ බවට ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමත් සමඟයි. ගසා තිරයේ රෆා වෙත එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බවයි ඊශ්‍රායලය ප්‍රකාශ කළේ. හමාස් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් දුරකථන මාර්ගයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සුබ පැතුම්ද එක් කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ යහියා සින්වාර්ගේ මරණය ඊශ්‍රායල වැසියන්ට සහනයක් ගෙන දෙන බවයි.

ජර්මනියේ විදේශ ඇමතිනි ඇනලේනා බෙයර්බොක් සඳහන් කලේ හමාස් නායක යාහියා සින්වාර් කුරිරු මිනීමරුවෙකු සහ ත්‍රස්තවාදියෙකු වන අතර ඔහුගේ මරණය සැමට අස්වැසිල්ලක් වනු ඇති බවයි.

ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 වන දින එල්ල කළ දරුණු ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයා හමාස් නායක යහියා සින්වාර් වන බවයි ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් පවසා ඇත්තේ. 

කෙසේවෙතත් පලස්තීන හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානයද  ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔවුන් පවසන්නේ හමාස් නායකයාගේ ඝාතනය හේතුවෙන් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර තවත් දැඩි කරන බවයි.