Monday, November 25, 2024

General line - 0115112241

සුදුවෑන් නඩුවේ තීන්දුව කල් යයි

උදය කුමාර




සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළ නඩුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහමඩ් රූමි යන විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම නොවැම්බර් මස 29 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ, 2019 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම, මරා දැමීම යන චෝදනා එල්ල කරමින් එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි එල්ල වූ චෝදනාවලට අදාළවයි.

මෙම නියෝගය අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ නඩු තීන්දුව සූදානම් නොමැති බවයි.

ඒ අනුව නඩු තීන්දුව නොවැම්බර් මස 29 වනදා ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා නියෝග කලා.