Monday, November 25, 2024

General line - 0115112241

ජොන්ස්ටන්ට එරෙහිව ගොනු කළ නඩුවක විභාගය කල් යයි

උදය කුමාර




තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විභාගය කල් දැමීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අනුර දිසානායක මහතාගේ නීතිඥවරුන් විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබුණා.

එම මෝසම තුළින් දැනුම් දී තිබුනේ පැමිණිලිකාර අනුර දිසානායක මහතා මේ වනවිට ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී සිටින බවයි.

ඒ අනුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 24 වන දා දක්වා කල් තැබීමටයි අධිකරණය නියම කර ඇත්තේ.

2017 වසරේ  ඒකාබද්ධ විපක්ෂය විසින් තංගල්ලේ පැවැත්වූ ජන හමුවකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකළ ප්‍රකාශයකින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජනාධිපති අනුර දිසානායක මහතා විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව මීට වසර කිහිපයකට පෙර මෙම නඩුව ගොනුකර තිබුණා.