Monday, November 25, 2024

General line - 0115112241

ගම්මන්පිලගේ නඩුවක ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට දින දෙයි

උදය කුමාර




ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් ඉදිරිපත්කර ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 21ක සමාගම් කොටස් සාපරාධී පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර  අනෙක් විත්තිකරු වූ සිඩ්නි ජයරත්න මහතා අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩුවට අදාළ ලිඛිත විරෝධතා නොවැම්බර් මස 25 වන දා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළා.

1996 වසරේ සැප්තැම්බර් මස 26 වන දා සහ 1997 වසරේ සැප්තැම්බර් මස 25 වනදා අතර කාලසීමාව තුළ අදාළ වරද සිදුකළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.