Friday, October 25, 2024

General line - 0115112241

බෝම්බ බියක් නිසා කටුනායකට ආ ගුවන් යානයක් අදත් හදිසි පරික්‍ෂාවකට ලක් කෙරේ

ටී කේ ජී කපිල




ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරුවේ පැමිණි ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් එය හදිසි ගොඩ බැස්සවීමකට ලක් කර විශේෂ පරික්‍ෂාවකට ලක් කෙරුණා.

අද පස්වරු 02යි 56ට මුම්බායි නුවර සිට පැමිණි විස්තාරා ගුවන් සේවයේ යූ කේ 131 දරන ගුවන් යානය තුළ බෝම්බයක් ඇති බවටයි එම තොරතුර ලැබී තිබුණේ.

එයාර් බස් ඒ 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 08 දෙනෙකු ඒ වනවිට රැඳී සිටියා.

මෙම ගුවන් යානය හදිසි ගොඩ බැස්සවීම සදහා ගිනිනිවීම් රථ, වෛද්‍යවරුන්, හෙදියන්, ගිලන් රථ, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන්, ගලවා ගැනීමේ සහ සහන සේවකයින්, පුපුරන ද්‍රව්‍ය අනාවරණය කර ගැනීමට පුහුණු කළ සුනඛයන්, පුපුරන ද්‍රව්‍ය කල් තබා හදුනා ගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ රැගත් භට පිරිසක් ඇතුළු  විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය අසළට රැස් කර තිබුණා.

එම යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ධාවන පථයේ කෙළවර වෙත රැගෙන ගොස්, විශේෂ පරික්‍ෂාවකට ලක් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.                                

සවස 05.00 පමණ වනවිට මෙම ගුවන් යානයේ සියලුම පරීක්ෂා කිරීම් අවසන් කර තිබෙනවා. 

එහෙත් එම යානය තුළ තිබී පුපුරන ද්‍රව්‍ය කිසිවක් සොයාගෙන නැහැ.

පසුගිය 19 වනදාද මෙම ගුවන් යානයේම බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේදී හදිසි පරික්‍ෂාවකට ලක් කෙරුණු අතර එම අවස්ථාවේදීද එහි තිබී පුපුරණ ද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ.