Friday, October 25, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අදාළ පෙත්සම් සලකා බැලීමට දින නියම වෙයි

උදය කුමාර




ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

ඒ, එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. 

එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 05 වනදාට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ විනිසුරුවරයා ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ මව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධිය හේතුවෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.

ඊට පිළියමක් ලෙස කලින් පිට වූ බව කියන ප්‍රශ්න 03  සඳහා අදාල විභාගයට පෙනී සිටි සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට බලධාරීන් විසින් තීරණයක් ගෙන තිබෙන බවත් ඒ තුළින් අදාල විභාගය සඳහා පෙනී සිටි සිසුන්ට අගතියක් සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන්  පෙන්වා දෙනවා.

මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ. ඊට අමතරව කලින් පිට වූ බව කියන ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් 05 වසර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.