Thursday, October 31, 2024

General line - 0115112241

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට කසල ප්‍රහාරයක්




උතුරු කොරියාව විසින් කසළ බැලුනයක් දකුණු කොරියාවේ ජනාධිපති පරිශ්‍රය වෙත පතිත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක අංශය පවසන්නේ කසල තුල කිසිදු භයානක ද්‍රව්‍යක් නොතිබුණු බවයි.

කසල බැලුනය පිපිරීමට ලක් වීමේදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්යෙයෝල් ජනාධිපති පරිශ්‍රය තුල සිටියේද යන්න තවමත් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ දෛනික කාලසටහනට අනුව  ඔහු එම සිදුවීම සිදු වූ දිනයේදී පෝලන්ත ජනාධිපති අන්ද්‍රේජ් ඩියුඩා හමුවීමට නියමිතව තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 

කසල බැලූනයේ දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කිම් කියෝන් හී සමච්චලයට ලක් කරන ප්‍රචාරක පත්‍රිකා අඩංගු වී තිබෙනවා.

ඇතැම් ප්‍රචාරක පත්‍රිකාවල කිම් කියෝන් හී ප්‍රංශ විප්ලවයේදී හිස ගසා දැමූ මාරි ඇන්ටොනෙට් රැජින ලෙස හඳුන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ.

ජනාධිපති කාර්යාලය පිහිටා ඇති සෝල්හි යොන්සාන් දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල එම පත්‍රිකා විසිරී ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂඥයන් පවසන්නේ නිශ්චිත ඉලක්ක වෙත බැලූන් හෙළීමට උතුරු කොරියාවට නවීන තාක්ෂණය නොමැති බවයි. 

උතුරු කොරියාව විසින් දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයට බැලූනයකින් අපද්‍රව්‍ය බැහැර කළ දෙවන අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.