Monday, November 25, 2024

General line - 0115112241

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05 ක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඒ, ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්ත පරිශ්‍රයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකල වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්    5 යි ග්‍රෑම් 26 ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්. අදාළ සැකකරු රැගෙන යාම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි පුද්ගලයෙක් සහ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගත් බවයි පොලිසියි වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශ ගතව සිටින “පුගුටි කන්නාගේ” මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට පැළියගොඩ සහ කැළණිය ප්‍රදේශවල සිදුකල වැටලීම්වලදීයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය සහ කොටහේන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 36 ත් 41 ත් අතර පුද්ගලයින් තිදෙනෙකු සහ වයස අවුරුදු 40 ක කාන්තාවක්. 

එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලි ග්‍රෑම් 800 ක්,

මත්පෙති 20 ක් ජංගම දුරකථන 06 ක්, විද්‍යුත් තරාදි 03 ක් සහ රුපියල් තුන් ලක්ෂ 31,900 ක මුදලක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැළියගොඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.