Monday, November 25, 2024

General line - 0115112241

ආරුගම්බේ සිද්ධිය ගැන තවත් තොරතුරු අධිකරණයට

උදය කුමාර




විදේශ සංචාරකයින් බහුල ලෙස මෙරට රැඳී සිටි ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පවතින්නේ යැයි ලැබුණු තොරතුරු අනුව වැඩිදුර විමර්ශන සිදු කරන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත පොලිසිය විසින් මෙම කරුණු වාර්තා කළා.

පොලිසිය අධිකරණයට වාර්තා කර තිබෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

එම ප්‍රශ්න කිරීම්වලදී මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැක කටයුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරු අනාවරණය වී  ඇති බවත් එම දැනුම් දීමේ සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම සඳහා බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය ඉදිරියේදී වාර්තා කරන ලෙසත් නියෝග කළා.

මෙම ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන සිදුකරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.