Sunday, November 24, 2024

General line - 0115112241

ජාතික ප්‍රසම්පාදන කොමිසමේ බලතල පුළුල් කිරීමට ජනපතිගෙන් උපදෙස්




ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වර්තමාන ප්‍රසම්පාදන නීතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

පවතින නීතිය හා මාර්ගෝපදේශ අනුව ප්‍රසම්පාදන කාර්යයන් සිදු නොවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු එම නිලධාරින් ජනාධිපතිවරයාට එහිදී ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ ප්‍රාග්ධන වියදම් ඇතුළු සියලු වියදම්වලින් 60%ක් පමණ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදු විය යුතු නමුත් එකී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පවතින අඩුපාඩු හේතුවෙන් රජයට විශාල වශයෙන් අලාභ සිදුවන බවයි ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන්  ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ.

ඒ හේතුවෙන් වංචා දූෂණ සඳහා වැඩි අවස්ථාවක් පවතින බවද එම නිලධාරින් පෙන්වා දී තිබෙනවා.  

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති විය හැකි ප්‍රමාදය, විනිවිදභාවයෙන් තොර ක්‍රියාවන්, මෙන්ම අකාර්යක්ෂමතාව පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ආයෝජකයා විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවන අඩුපාඩු අවම කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ බලතල තවදුරටත් පුළුල් කරමින් ප්‍රසම්පාදන සැලසුම් විධිමත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති සුධර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.