Monday, November 25, 2024

General line - 0115112241

ගාසා තීරයේ මානූෂීය ආධාර වැඩසටහන් බිඳ වැටීමේ අවධානමක




පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන වැඩසටහන සහ එම ඒජන්සිය තහනම් කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

ඒ, එරට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කර ගනිමින්.

ඒ අනුව ඊශ්‍රායලය සහ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින නැගෙනහිර ජෙරුසෙලම තුළ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය තහනම් කරමින් මාස 03 ක් ඇතුළත නීති සම්පාදනය කිරීමටයි ඊශ්‍රායල පාර්ලිමේන්තු අනුමැතිය ලබාදී ඇත්තේ.

ඊශ්‍රායල රජය චෝදනා කරන්නේ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ආවරණයක් ලෙස භාවිත කරන බවයි.

එම ඒජන්සිය සහ හමාස් සංවිධානය අතර ගැඹුරු සම්බන්ධයක් පවතින බවත් එය ඉවසා සිටිය නොහැකි බවත් ඊශ්‍රායලය පවසා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලයේ මෙම තීරණය හේතුවෙන් ගාසා තීරයේ මනූෂීය ආධාර වැඩසටහන් බිඳවැටෙනු ඇති බවයි පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ප්‍රධානියා පවසා ඇත්තේ.

එම තීරණය පලස්තීනුවන්ගේ දුක් වේදනා වැඩිකරන ක්‍රියාවක් බවත් එය සාමූහික දඬුවම්වලට වඩා අඩු දෙයක් නොවන බවත් ඔහු පවසා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලයේ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අමෙරිකාව, බි්‍රතාන්‍ය සහ ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. 

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන වැඩසටහන මඟින් ගාසා තීරයේ මානූෂීය ආධාර බෙදාහැරීමේ දී තීරණාත්මක කාර්යභාර්යක් ඉටු කළ බවයි.

මිලියන දෙකකට වැඩි ජනගහනයක් එම වැඩසටහනෙන් ලැබෙන ආධාර සහ සේවා මත රඳා පැවති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. 

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් ගාසා තීරයේ සිවිල් වැසියන් සඳහා මානූෂීය ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අඛණ්ඩ පහසුකම් සැලසීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට සිය රජය සූදානම් බවයි.