Sunday, November 24, 2024

General line - 0115112241

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සූකර උණ අවදානම් ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කමල් සුරවීර




දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමමාලි කොතලාවල මහත්මිය විසින්.

ඌරන් මෙම රෝග අවදානම් සතුන් ලෙසත් එම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඉකුත් 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මාස 03 ක කාලයකට බලපැවැත්වෙන පරිදියි. 

ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලපැවැත්වෙන කාල සීමාව තුළ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම තහනම් වනවා.

එමෙන්ම ආසාදිත සතුන් ඝාතනය කිරීම, රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘතිම අභිජනන ක්‍රම භාවිත කිරීම, අවදානම් සතුන් භාවිත කර සජීවි සත්ව වෙළඳපොල පැවැත්වීම, දර්ශන හා තරග පැවැත්වීමද තහනම් වනු ඇති.

එමෙන්ම ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන සහ රෝග කාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීමද තහනම් බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. 

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමමාලි කොතලාව මහත්මිය පැවසුවේ අප්‍රිකානු සූකර උණ වෛරසය මෙරටින් වාර්තා වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එම වෛරය මීට පෙර මෙරටින් වාර්තා වී නොමැති බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළා.


අප්‍රිකානු සූකර උණ රෝගය මර්ධන සඳහා මෙතෙක් එන්නතක් නිපදවා නොමැති බවද එහිදී ප්‍රකාශ කෙරුණා. 


සූකර උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමමාලි කොතලාව මහත්මිය එහිදී කරුණු පැහැදිලි කළා.