Thursday, October 31, 2024

General line - 0115112241

අප්‍රිකානු සූකර උණ වෛරසය රටට ඇතුළු වුණේ නීති විරෝධී ආනයන හරහා ද? 

කමල් සුරවීර




සූකර උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ගන්නෝරුවේ පිහිටි සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේදී අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමමාලි කොතලාවල මහත්මිය නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ සූකර උණ පැතිරයාම වැළැක්වීම සඳහා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ගත යුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවදානය යොමු කරන බවයි. 

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරමින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් 25 වනදා සිට මාස 03 ක කාලයක් බල පැවැත්වෙන පරිදියි. 

ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලපැවැත්වෙන කාල සීමාව තුළ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝගකාරක ද්‍රව්‍ය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශය තුළ හෝ ප්‍රදේශයෙන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම තහනම් වනවා. 

එමෙන්ම ආසාදිත සතුන් ඝාතනය කිරීම, රෝග අවදානමකට ලක්ව සිටින සතුන් සඳහා කෘතිම අභිජනන ක්‍රම භාවිත කිරීම, අවදානම් සතුන් භාවිත කර සජීවි සත්ව වෙළඳපොල පැවැත්වීම, දර්ශන හා තරග පැවැත්වීමද තහනම් වනු ඇති. 

එමෙන්ම ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන සහ රෝග කාරක ද්‍රව්‍ය විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදාහැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීමද තහනම් කර තිබෙනවා. 

අප්‍රිකානු සූකර උණ රෝගය හෙවත් ්ත්‍ී වෛරසය මෙරටින් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා. නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ මෙරටට ගෙන්වන ලද ඌරුමස්වලින් එම වෛරසය මෙරටට ඇතුළුවන්නට ඇතැයි සැක මතුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරන බවයි සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමමාලි කොතලාවල මහත්මිය පැවසුවේ.


එම වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ආචාර්ය හේමමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් කරුණු දැක්වුවා.


ඒ අනුව මේ වන විට වෙළඳපොලේ ඇති ඌරු මස් සහ ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදන ඉවත් කරන්නේ දැයි නෙත් නිවුස් මෙහිදී කරුණු විමසීමක් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමමාලි කොතලාවල මහත්මිය පැවසුවේ ඌරු ගොවිපල හිමියන් ඌරු මස් ආශ්‍රිත නිෂ්පාදකයින් ඇතුළු අදාළ සියලු පාර්ශව සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවේදී සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.