Thursday, October 31, 2024

General line - 0115112241

ඊශ්‍රායලය, ගාසා සහ ලෙබනන් ලෙයින් තෙත් කරයි




ගාසා තීරයට මෙන්ම ලෙබනනයටද ඊශ්‍රායල් හමුදා විසින් එල්ල කරන ලද දරුණු ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ, ලෙබනනයට දිනක් තුළ එල්ල වූ දරුණුතම ප්‍රහාරය එල්ල වීම හා ගාසා තීරයේ ගාසා වැසියන් 93 දෙනෙකු එකවර මිය යාමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් සඳුදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේදී පුද්ගලයින් 82ක් මියගොස් තවත් 180ක් තුවාල ලබා ඇති බවයි.

එය සැප්තැම්බර් 30වනදායින් පසු එක් දිනක් තුළ වැඩිම පිරිසක් මිය ගිය එකම අවස්ථාව වනවා.

මේ දක්වා ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 2,100කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 10,500කට අධිකයි.  

මේ අතර, ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් 93 දෙනෙකු මිය ගිය අතර ළමුන් 25 දෙනෙකුද ඒ අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරය කෙතරම් දරුණුද කිවහොත් ඇතැම් මළ සිරුරු තාවකාලික සොහොන්වල කඩිනමින් මිහිදන් කර ඇත්තේ පොදු සුසාන භූමි වෙත යාම පවා අවදානම වීම හේතුවෙන්. 

මෙම ප්‍රහාරය බිහිසුණු ප්‍රහාරයක් ලෙසයි අමෙරිකාවද හඳුන්වා දී ඇත්තේ. ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ මහල් පහකින් යුත් නේවාසික ගොඩනැගිල්ලක්.