Sunday, November 24, 2024

General line - 0115112241

උපුල් තරංගට එරෙහි වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

උදය කුමාර




තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිකරු වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අධිකරණය හමුවී පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඉදිරියේදී අදාළ නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් දුන් ප්‍රතිඥාවක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මාතලේ මහාධිකරණය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ලෙස දන්වා නිකුත් කර තිබෙන වරෙන්තුව බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා උපුල් තරංග මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරුණා.

මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී  කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.