Friday, December 27, 2024

General line - 0115112241

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලබාදීම ගැන රජයෙන් දැනුම් දීමක්




අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධාතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් එම කමිටුව පත් කර තිබෙනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ සමෘද්ධි ප්‍රතිලාභ හිමිවූ එහෙත් අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් නොවූ පුද්ගලයින් පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් සොයාබලා කරුණු ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කර ඇති බවයි.

ඒ අනුව ලබන මස 15 වන දිනට පෙර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව ලබාදෙන ලෙසයි අමාත්‍යංශ ලේකම් රංජිත් ආරියරත්න මහත විසින් අදාළ කමිටුවට දැනුම්දී ඇත්තේ.