Monday, December 2, 2024

General line - 0115112241

ලොහාන් රත්වත්තේගේ නමත් ගෑවුණු සුපිරි ජීප් රථයක් ලඟ තබා ගත් සුප්‍රසිද්ධ දේවාලයක දේවගැතිවරයෙකු බන්ධනාගාර ගත කෙරේ

    ජේ ඒ එල් ජයසිංහ - කමල් සුරවීර




හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයෙකු විසින්  තමන්ට භාරදුන් බව කියන ලියාපදිංචි නොකරන ලද එකලස් කළ සුපිරි ජීප් රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර සුප්‍රසිද්ධ දේවාලයක දේවගැතිවරයෙකු සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, තෙල්දෙණිය පොලිස් විශේෂ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව අදාළ දේවගැතිවරයා මෙම මස 11 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය නියෝග කර තිබෙනවා.

සැකකාර දේවගැතිවරයා පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, පසුගියදා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ලේකම්වරයා විසින් අදාළ ජීප් රථය තමන් වෙත ගෙනැවිත් භාරදුන් බවයි. 

සැකකාර දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ සරත්   ප්‍රේමකුමාර මහතා තම සේවාදායකයාට ඇප නියම කරන ලෙස  අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බැවින්  මහේස්ත්‍රාත්තුමිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.