පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.
මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.
එමෙන්ම මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කෙරුණා.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා