Sunday, November 24, 2024

General line - 0115112241

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් නිසා රිමාන්ඩ් කර සිටි 24දෙනෙකු ඇප මත මුදා හරි

උදය කුමාර




2012 වසරේ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරුවන් 24 දෙනෙකු පෙර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු   ආර් එස් එස් සපුවිද මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරුවන් 24 දෙනෙකු පෙර ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් 43 දෙනෙකු චෝදනාවලට වරද පිළිගැනීමට එකඟ වූ අතර ඒ අනුව මෙම සිද්ධියේදී බරපතළ තුවාල ලැබූ නිහාල් ගුණවර්ධන නමැත්තාට රුපියල් ලක්ෂ 03 ක වන්දියක් ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කළා.

ඒ අනුව මීළඟ නඩු දිනයේ එක් එක් විත්තිකරුවකු රුපියල් 7,000 බැගින් වන්දි ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඊට අමතරව මෙම සිද්ධියේදී මැගසින් බන්ධනාගාරයට සිදුවූ රුපියල් ලක්ෂ 52 කට අධික හානිය වෙනුවෙන් එක් එක් විත්තිකරු රුපියල් එක් ලක්ෂ 22,000 බැගින් වන්දි ගෙවිය යුතු බවත් එම වන්දි මුදල දෙසැම්බර් මස 13 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බවටත් විනිසුරුවරයා නියම කළා.

ඇප මත මුදා හරිනු ලැබූ විත්තිකරුවන් මීළඟ දින අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් එසේ පෙනී නොසිටින විත්තිකරුවන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විනිසුරුවරයා අනතුරු අඟවා සිටියා.

විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා සංශෝධනය කර දණ්ඩ නිති සංග්‍රහයකදී චෝදනා පවත්වා ගෙන යාමට පියවර ගන්නා බව රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා.

ඉන් අනතුරුව වරද පිළිගැනීමට අකමැති වූ විත්තිකරුවන් දෙදෙනාට සහ අධිකරණය මගහැර සිටින විත්තිකරුවන් දෙදෙනාට අදාළ නඩුව ඉදිරියටත් විභාග කිරීමට තීන්දු කළ අධිකරණය, නඩුව දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට ද දින නියම කළා.