Monday, December 2, 2024

General line - 0115112241

හේමසිරි සහ පූජිත්ට එරෙහි පාස්කු නඩුවේ විත්ති වාචික කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

උදය කුමාර




පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම නඩුවට අදාළ විත්ති වාචිකය කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කළා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා තිබුණා.

එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළා.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්තිවාචකය කැඳවීය යුතුව තිබූ බවයි මෙම අභියාචනා පෙත්සම් විභාගයෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ.