Sunday, November 24, 2024

General line - 0115112241

පොලිසියේ අනසි ක්‍රියාකාරකම් වීඩියෝ කිරීම සම්බන්ධයෙන් පොලිසියෙන් යළිත් පැහැදිලි කිරීමක්




ශ්‍රී ලංකා පොලීසියේ සේවය කර විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සහ විශ්‍රාමික වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ තනතුරු දෙකක් ලබා දී තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඩී ආර් එල් රණවීර මහතා මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ අමාත්‍යංශ උපදේශකවරයා ලෙස පත් කර තිබෙනවා.

අමාත්‍යංශ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩී ගජසිංහ මහතායි.  

මේ අතර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව පොලිස් නිලධරයින්ගේ ක්‍රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන අනිසි, අනීතික ක්‍රියාමාර්ග වැළැක්වීමේ අරමුණෙන් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමට හැකියාවක් පවතින බවයි. 

කෙසේවෙතත් මීට පෙර පළවූ නිවේදනය පදනම්කරගනිමින් මහජනතාව විසින් පොලිස් ස්ථාන තුළ හා ඉන් පිටත සිදුවන අපරාධ විමර්ශනයන්, සැකකරුවන්ගේ හෝ වින්දිතයන්ගේ හා වෙනත් තැනැත්තන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා අවස්ථාවලදීද මහජනතාව මැදිහත් වී වීඩියෝගත කිරීමට උත්සහ කර තිබෙන බවට වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. 

එවැනි වීඩියෝගත කිරීම් හේතුවෙන් පැහැදිලිවම එම විමර්ශන සඳහා බාධාවක් වන අවස්ථාවේදී ඒ පිළිබඳ එම තැනැත්තා වෙත කරුණු පැහැදිලි කර දී තවදුරටත් එම වීඩියෝගත කිරීම්වල නිරත වන්නේ නම්, අධිකරණය වෙත කරුණු වාර්තා කර නෛතික ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් නොමැති බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.