Sunday, November 24, 2024

General line - 0115112241

කූඨ ලේඛන සකස් කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට




කූඨ ලේඛන සකස් කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පොළොන්නරුවේදී සිදු කළ වැටලීමකදීයි.

අදාළ කූඨ ලේඛනය තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල මුද්‍රාව සහ අත්සන සහිතව සකස් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහුට එම ලේඛනය මුදලට සකස් කර දුන් පුද්ගලයාද හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා සන්තකයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ පශු වෛද්‍ය කාර්යාල, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකින් නිකුත් කරන රියදුරු බලපත්‍ර, ආදායම් බලපත්‍ර, විභාග සහතික ඇතුළු කූඨ ලේඛන හමු වූ බවයි පොලීසිය සඳහන් කළේ.

එම ලේඛන සකස් කිරීමට යොදා ගත් ලැප්ටොප් යන්ත්‍රයක් සහ පෙන්ඩ්‍රයිව් 04ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධ විමර්ශන පොළොන්නරුව පොලීසිය මගින් ක්‍රියාත්මකයි.