Saturday, November 23, 2024

General line - 0115112241

මහ මැතිවරණයට අදාළ පැමිණිලි 2,500 ඉක්මවයි




මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 2,580 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී තිබෙනවා.

නීති උල්ලංඝනය කිරීම්වලට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,525 ක්.

ප්‍රචණ්ඩ ක්‍රියා 20ක් සහ වෙනත් පැමිණිලි 35 ක් ද වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 1,781 ක්. සෙසු පැමිණිලි 744 ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී තිබුණා.

මේ දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව වන 2,580 න් 1,999 ක් මේ වන විටත් විසඳා අවසන්.

සෙසු පැමිණිලි 581 සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරමින් සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.

මේ අතර එළඹෙන 14 වන දින පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාලව මාතර වෙරළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිසිය පවසනවා.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මාතර රාහුල විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 

ඒ අනුව මැතිවරණය වෙනුවෙන් වන ආරක්ෂක හා රථවාහන සැලැස්ම අනුව ලබන 12 වන දින පස්වරු 02.00 සිට ලබන 13 වන දින මධ්‍යහන 12.00 දක්වා ඡන්ද පෙට්ටි අදාල මධ්‍යස්ථාන දක්වා පිටත් කරන කාලය තුළ මාතර වෙරළ මාර්ගයේ රණවිරු වටරවුම සිට එළියකන්ද දක්වා වන මාර්ගයේ රථවාහන ගාල් කිරීම සිදුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව මාතර දෙස සිට කතරගම දෙසට හා කතරගම දෙස සිට මාතර දෙසට ධාවනය කරන වාහන අළුත් තංගල්ල පාර හා පරණ තංගල්ල මාර්ගය ඔස්සේ ධාවනය කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.