Monday, December 2, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පැරදූ නවසීලන්තයට දෙවන විස්සයි විස්ස තරගයේ ජය




ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති එම තරගය සංචාරක නවසීලන්ත කණ්ඩායම ජයගනු ලැබුවේ ලකුණු 5 කින්.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 108 ක් රැස්කර ගත්තා.

විල් යංග් ලකුණු 30 යි. කෙසේවෙතත් සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 25 සීමාව පසුකර යාමට අවස්ථාව හිමි වූයේ නැහැ.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 4 ක් සහ මතීෂ පතිරණ කඩුලු 3 ක් බිඳ හෙලුවා.

නුවන් තුෂාර කඩුලු 2 ක් සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් ද දවා ගත්තා.

කෙසේවෙතත් ජයග්‍රාහී ලකුණු 109 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි  ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 103 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 52 යි.

භානුක රාජපක්ෂ ලකුණු 15 ක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 14 ක් රැස්කළා.

කෙසේවෙතත් සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 5 ක් හෝ රැස් කිරීමට නොහැකි වුණා.

ඒ අනුව තරගයේ වීරයා සම්මානය ලක්ලන් ෆර්ගසන් දිනා ගත්තා.

කෙසේවෙතත් තරගාවලියේ වීරයා සම්මානය වනිඳු හසරංග හිමි වුණා.

දෙරට අතර පැවති තරග දෙකකින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අවසන් වූයේ කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින්.

මේ අතර දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 13 වනදා ආරම්භ වීමට නියමිතයි.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන එම තරගාවලියේ පළමු තරගය දඹුල්ලේදී පැවැත්වෙනවා.