Thursday, December 5, 2024

General line - 0115112241

පාතාලයට සම්බන්ධ යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට

ජේ ඒ එල් ජයසිංහ




යුද හමුදා විශේෂ බලකායේ සක්‍රිය සේවයේ නියුතු සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් උඩුගම දකුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකල වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 700 ක් ද සොයාගෙන තිබෙනවා. 

ඔහු කරංදෙණිය සුද්දාගේ ප්‍රධාන ගෝලයෙකු වන නිරාජ් අසංක ජයවර්ධන නොහොත් ස්නයිපර් සුද්දාගේ ගෝලයෙකු වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා උඩුගම පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

මේ අතර විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කංනන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල, පහල හංවැල්ල ප්‍රදේශයේදීයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 510 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08 යි මිලි ග්‍රෑම් 570 ක් හා විද්‍යුත් තරාදියක් සොයාගෙන තිබෙනවා.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිස් ස්ථානයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

මේ අතර පුජාපිටිය, කළුවාන පෙදෙසේ තිබී ජීව අත් බෝම්බයක්  සොයාගෙන  තිබෙනවා.

එම බෝම්බය නිශ්ක්‍රීය කිරීම සඳහා  මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර, මහේස්ත්‍රාත් නියෝග මත නිශ්ක්‍රීය කරන බවයි පොලිසිය පැවසුවේ.