Thursday, December 5, 2024

General line - 0115112241

පොලිස් වෙස්ගත් කොල්ල කල්ලියක් ගැන අනාවරණයක්




පොලිස් වෙස්ගත් කොල්ල කල්ලියක් මීගහවත්ත පොලිස් වසමේ සැරි සරන බවට වාර්තා වනවා.

උඩුපිළ ප්‍රදේශයේදී ආයුර්වේද නිෂ්පාදන අලෙවිකරුවෙකු සතු රුපියල් 12,000 ක මුදලක් එම කොල්ල කල්ලිය විසින් පැහැරගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අදාල අලෙවිකරුවා සිය ලොරි රථය එම ප්‍රදේශයේ නතර කර තිබූ අවස්ථාවේදීයි.

වෑන් රථයකින් එම ස්ථානයට පැමිණි යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙකු අදාල අලෙවිකරුගෙන් මුදල් ලබාගෙන ඇත්තේ තමන් පොලිසියෙන් බව පවසමින්.

එම ස්ථානයේ ලොරි රථය නතර කිරීමට නොහැකි බවත් ඊට එරෙහිව නඩු පවරන බවටත් එම පුද්ගලයාට තර්ජනය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ආයුර්වේද නිෂ්පාදන අලෙවිකරුවා මීගහවත්ත පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ. 

ඒ අනුව අදාළ වෑන් රථය මහර ප්‍රදේශයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එය පූගොඩ, ගල්පොතුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකුට අයත් වාහනයක් බවටයි අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් සිද්ධියට අදාළව කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මෙවැනි ආකාරයේ කොල්ලකෑම් කිහිපයක් පසුගිය දින කිහිපයේදී මීගහවත්ත පොලිස් වසමෙන් වාර්තා වී තිබෙනවා.