Thursday, November 21, 2024

General line - 0115112241

වසර 12 කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියක ජය




වසර 12 කට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 3 කින්.

තරගයේ කාසිය වාසිය දිනූ  ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

අවස්ථා කිහිපයකදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර මේ හේතුවෙන් තරගය පන්දුවාර 47 කට සීමා කිරීමට තරග තීරකවරයා තීරණය කළා. 

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සංචාරක නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස කළ ලකුණු සංඛ්‍යාව     209 ක්.

මාර්ක් චැප්මන් ලකුණු 76 ක් රැස් කළා.

මිචෙල් හේ ලකුණු 49 ක් සහ විලියම් යං ලකුණු 26 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රාහී ලකුණු 210 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 ක් අවසානයේ කඩුලු 07 ක් පමණක් දැවී තරගය ජය ගත්තා.

කුසල් මෙන්ඩිස් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 74 ක්.

පැතුම් නිස්සංක ලකුණු 28 ක් ද මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27 ක් ද රැස් කළා.