Thursday, November 21, 2024

General line - 0115112241

වාර්තාගත 10 වන පාර්ලිමේන්තුව අද පළමුවරට රැස්වෙයි




දසවැනි පාර්ලිමේන්තුමේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙරවරු 10ට සිදු කිරීමට නියමිතයි. 

පෙරවරු 9යි 55ට ගණපූර්ණ සීනුව නාදකිරීමෙන් අනතුරුවයි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ. 

අද දිනයේ පළමුවෙන් සිදු වන්නේ කුමක්ද? මේ, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා.

ඉන් පසුව සිදු වන්නේ පාර්ලිමේන්තුවට පැමිණෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමයි. 

පෙරවරු 11යි 30ට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙහිදී ජනාධිපතිවරයාට පැනවෙන ආසනය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා මෙලෙස පැහැදිලි කළා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සඳහන් කළේ ඉතා කෙටි වේලාවක් තුළ මෙම කටයුතු සිදු වීමට නියමිත බවයි. 

2024 මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 159ක් හිමි වුණා. 

සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 40ක්. 

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මන්ත්‍රී ආසන 05ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 03ක්ද හිමි වුණා. 

ඉලංකෛ තමිල් අරසු පක්ෂයට හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 08ක්. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයටද මන්ත්‍රී ආසන 03ක් හිමි වූ අතර සර්වජන බලයටද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වුණා. 

ඉතිරි මන්ත්‍රී ආසන 06 තවත් පක්ෂ කිහිපයක් අතරේ බෙදී ගියා. 

10වන පාර්ලිමේන්තුවේ විශේෂත්වය වන්නේ පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන මන්ත්‍රීවරුන් බහුතරයකගෙන් එය සමන්විත වීමයි. 

ඒ අනුව අද පාර්ලිමේන්තුවට පිවිසෙන නවක මන්ත්‍රීවරු සංඛ්‍යාව 143ක්. 

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු දෘෂ්‍යාබාධිත මන්ත්‍රීවරයා ලෙස සුගත් වසන්තද සිල්වා මහතා පාර්ලිමේන්තුවට පිවිසීම විශේෂත්වයක් වනවා. 

ඔහු ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

10වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සියලු දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.