ගුවන් ගමන් බලපත්රයක් සහ වීසා නොමැතිව නුවරඑළිය ප්රදේශයේ රැඳී සිටි ඉන්දුනිසියානු ජාතිකයන් 08 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නුවරඑළිය පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.
ඔවුන් සංචාරක වීසා මත මීට මාස දෙකකට ප්රථම දිවයිනට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ ගුවන් ගමන් බලපත්ර හෝ වීසා බලපත්ර නොතිබුණු බවත් පොලිසිය පවසනවා.
කෙසේවෙතත් සැකකරුවන් පවසා ඇත්තේ වීසා කල් ඉකුත්වී ඇති හේතුවෙන් වීසා අලුත් කිරිමට සියලු ලියකියවිලි මෙරට සිය තනාපති කාර්යාලය වෙත භාරදුන් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා නුවරඑළිය ප්රදේශයට පැමිණිමට ප්රථම හැටන් සහ නාවලපිටිය ප්රදේශවල සංචාරය කර ඇති බවට තොරතුරු අනාවරණවී තිබෙනවා.
වයස අවුරුදු 25 ත් 65 ත් අතර පසුවන එම සැකකරුවන් සමග තවත් 191 දෙනෙකු මෙරට පැමිණ ඔවුන් දිවයිනේ විවිධ ප්රදේශවල සංචාරය සදහා යොමුවී ඇති බවයි සැකකරුවන් විසින් පොලිසියට පවසා ඇත්තේ.
ඒ අනුව එම පිරිස සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මෙරට ඉන්දුනිසියානු තනාපති කාර්යාලයේ නිලධාරින් දැනුවත් කර ඇති බවත්, සැකකරුවන් අද නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.