Thursday, December 12, 2024

General line - 0115112241

ආනයනික පළමු සහල් තොගය රටට පැමිණෙයි

රංජිත් රාජපක්ෂ




පෞද්ගලික ආනයනකරුවන් විසින් මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය මෙරටට පැමිණ තිබෙනවා. 

පළමු තොගය පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. සහල් කන්ටේනර් 17ක් ඊයේ සවස සිට මේ දක්වා මෙරටට පැමිණ තිබෙනවා. 

එහිදී මෙටි්‍රක් ටොන් 441ක සහල් තොගයක් මෙරටට ගෙන ආ බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ. 

අද දිනයේද තවත් සහල් තොගයක් මෙරටට පැමිණීමට නියමිත බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ. 

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ කඩිනමින් සහල් තොග ගෙන ඒමට සිදුවූ බැවින් වැඩි මිලට සහල් ආනයනය කිරීමට සිදුවූ බවයි.

සහල් බද්ද අඩු කිරීමට නොහැකි බවද ආණ්ඩුව ප්‍රකාශ කළ බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

ආනයනික සහල් තොග වෙළෙඳපොළට පැමිණීමත් සමග රට තුළ පවතින සහල් හිඟයට විසඳුම් ලැබෙනු ඇති බවයි සතොස ආයතනයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

කෙසේවෙතත් මරදගහමුල සහල් නිෂ්පාදන සංගමයේ සභාපති බී කේ රංජිත් මහතා පැවසුවේ අතරමැදියන් සඟවාගෙන ඇති වී තොග ලබා නොගතහොත් ගැටලු රැසක් මතුවිය හැකි බවයි.

ආනයනික සහල් සෑම ප්‍රදේශයකටම බෙදා හැරියහොත් සහල් ගැටලුව විසඳෙන බවයි ඔහු පැවසුවේ.  

මේ අතර වැඩි මිලට තොග මිල දි ගත් සහල් පාලන මිලට තමන්ට අලෙවි කිරීමට සිදුව ඇති බවයි සහල් සිල්ලර වෙලෙදුන් පවසන්නේ. 

පාලන මිලට අලෙවි කිරිමට සහල් මෝල් හිමියන් සහල් තොග මෙතෙක් වෙලදපොලට නිකුත් කර නොමැති බවද ඔවුන් පවසනවා. 

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ වැඩි මිලට සහල් අලෙවි කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බවයි.

නාඩු සහල් කිලෝවක් රු 230ට, සම්බා සහල් රු 240ට, කීරි සම්බා රු 260ට සහ රතු සහල් රු 210ක පාලන මිලට මේ වන විට අලෙවි කරන බවයි සිල්ලර වෙළඳුන් කියා සිටියේ.                   රංජිත් රාජපක්ෂ