Sunday, December 15, 2024

General line - 0115112241

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශිතව අද සිට අඩු පීඩන තත්ත්වයක්




නැගෙනහිර පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. 

මධ්‍යම, සබරගමුව, නැහගනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද පස්වරු 04.00 දක්වා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. 

එම ආයතනයේ බදුල්ල ප්‍රධාන භූවිද්‍යාඥ හර්ශනී පෙරේරා මහත්මිය පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල පස්සර හාලිඇල, හපුතලේ හා මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම හා මාතලේ දිස්ත්‍රික්කයේ අබන්ගග කෝරලය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එලෙස නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බවයි.

මේ අතර ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අද දිනයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි. 

එළඹෙන දින දෙක තුලදී එය දිවයිනේ උතුරට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. 

එම තත්ත්වය පිළිබඳව දිවයිනේ නැහනෙහිර සහ උතුරු පළාත්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ, එම තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.