Saturday, December 21, 2024

General line - 0115112241

මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ රාජ්‍ය සේවයේ යෙදී සිටියදීද? - අමාත්‍ය උපාලි පන්නිලගේගෙන් ප්‍රතිචාර




තමන් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ සේවයෙන් ඉවත්ව බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

උපාලි පන්නිලගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බව දන්වමින් අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා පසුගියදා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. 

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් බවත් එම පෙත්සමේ පෙන්වා  දී තිබෙනවා. 

ඒ අනුව ඔෂල හේරත් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින්. 

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ,  පාර්ලිමේන්තු මහ ලේකම්,  රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.