පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර කඩිනමින් තීරණයක් ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියා.
පසුගියදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් ප්‍රශ්න තුනක් පිටවීම තුළින් ඇතිවූ අර්බුදය නිරාකරණය කිරීම සඳහා විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන විසඳුම් තුන අතරින් වඩාත් සුදුසු විසඳුම තෝරාගෙන එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා.
ඉන් අනතුරුව මෙම විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට නියම කළේ.
එමෙන්ම කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ගනු ලැබූ තීරණය සහ එය අනුමත කරමින් ඉකුත් නොවැම්බර් මස 25 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බල ශුන්‍ය කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වුණා.
ඊට අමතරව මෙම ප්‍රශ්න පිටවීමේ සිද්ධියට සම්බන්ධ බව කියන ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් ද උපකාරක පන්ති ගුරුවරයකු වන චමින්ද කුමාර ඉලංගසේකර විසින් රුපියල් මිලියන දෙකක් ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බව නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම වන්දි මුදල් අද සිට සති හතරක් තුළ ගෙවා අවසන් කළ යුතු බවටත් නියෝග කළා.
ඉකුත්දා අවසන් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් එම විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ මව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පුරා දින තුනක් තිස්සේ විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ.
කුමුදුනී වික්‍රමසිංහ, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකගත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම අර්බුදය නිරාකරණය කිරීම සඳහා විභාග කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරුන් තුන් දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව විසින් ඊට අදාළව විසඳුම් තුනක් යෝජනා කර ඇති බවයි.
ඒ අනුව කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීම, එම ප්‍රශ්න තුන කපා හැරීම සහ කලින් ප්‍රශ්න පිටවූ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කොට අලුතින් විභාගයක් පැවැත්වීම එම විසඳුම් තුන බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා.
එම විසඳුම් තුන අතුරින් වඩාත් සුදුසු විසඳුමක් ස්වාධීන ලෙස තෝරාගෙන එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ නියෝගයේ සඳහන්.
එමෙන්ම මෙම ප්‍රශ්න පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා එහි වාර්තාවක් අද සිට මාස තුනක් ඇතුළත අල්ලස් කොමිසමට යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියට නියෝග කළා.
මෙම විමර්ශන වලට අවශ්‍ය උපදෙස් ලබාදීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයා වෙතද තවත් නියෝගයක් නිකුත් කළා.
මෙම සිද්ධියේදී වන්දි ගෙවීමට නියම වූ පුද්ගලයින් විසින් කිසියම් අල්ලසක් ලබාගෙන තිබේදැයි විමර්ශන පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අල්ලස් කොමිසමට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඊට අමතරව අනාගතයේදී පොදු විභාග පැවැත්වීමේදී ඒවායේ විශ්වසනීයත්වය ආරක්ෂාවන ආකාරයෙන් කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරී ජෙනරාල්වරයා වෙත තවත් නියෝගයක් නිකුත් කළා.
මෙම නඩුවට අදාළ නඩු ගාස්තු අයකර ගැනීමට මව්පියන්ට හැකියාව තිබෙන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල ඊට අදාළ බිල්පත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වෙත ඉදිරිපත් කර එම කටයුතු ඉටු කර ගැනීමට හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් තීන්දුව අනුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේ මෙලෙසයි.