Saturday, January 4, 2025

General line - 0115112241

රට වෙනස් කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අද සිට




නව රජයේ ප්‍රධානතම වැඩසටහනක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන අදින් ආරම්භ වනවා. 

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීම මෙහි අරමුණයි. 

එමෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම මේ යටතේ සිදු වනු ඇති. 

පාරිසරික, ආර්ථික හා සමාජීය තිරසරභාවය සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා පරිවර්තනීය මුලපිරීමක් අවශ්‍ය බැවින් එම අරමුණු ළඟාකර ගැනීමද මෙහි තවත් අරමුණක් වනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන ඇති බවයි. 

සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම අනුව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබෙනවා. 

ඒ සඳහා ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18 දෙනෙකු ඉකුත් දා නම් කළා.