Friday, January 10, 2025

General line - 0115112241

ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයට




ලිහිල් සිරදඩුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටිනවා. 

ඒ, කේ වාට්ටුවේයි. 

එම වාට්ටුවේ සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් සමග ඥානසාර හිමියන් රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

කේ වාට්ටුවේ රඳවා සිටින පිරිස අතර චීවරධාරීන්, රජයේ සේවකයන් ඇතුළු පිරිසක් සිටින බවද බන්ධනාගාර ආරංචි පැවසුවා.

බොදු බලසේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කෙරුණේ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින්. 

ඊට අමතරව රුපියල් 1,500ක දඩයක් ද නියම කරන බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පැවසුවේ.

2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට ‍අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණා. 

ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේයි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10වන ව්‍යවස්ථාව තුළින් තමන් කැමති ඕනෑම ආගමක් හෝ ඇදහිල්ලක් විශ්වාසයක් දැරීමේ නිදහස මූලික මිනිස් අයිතිවාසිකමක් වශයෙන් පිළිගෙන ඇති බවයි. 

ඒ අනුව ඉස්ලාම් භක්තිකයින්ට තමන්ගේ දහම සම්බන්ධයෙන් විශ්වාසයක් දැරීමට පූර්ණ හිමිකමක් තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට සමත් වී තිබෙන බවත් ඒ අනුව විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරන බවත් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.