Friday, January 24, 2025

General line - 0115112241

රාජකාරී වෙලාවේ බීමතින් සිටි සැරයන්වරුන් දෙදෙනෙකුට වැඩ වරදී




රාජකාරී වේලාව තුළ බීමතින් හැසිරුණු පානදුර උතුර පොලීසියේ සැරයන්වරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. 

අදාළ නිලධාරීන් දෙදෙනා නිල ඇඳුමෙන් බීමත්ව සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යවලද සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේද අවධානය යොමු වී තිබුණා. 

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්ද ක්‍රියාත්මකයි. 

පානදුර උතුර පොලිස් ස්ථානයට අයත් ත්‍රීරෝද රථයකින් ඉකුත්දා රාජකාරියක් සඳහා ගොස් සිටි එම නිලධාරීන් දෙදෙනා එම ත්‍රීරෝද රථය අතරමග දමා වෙනත් ස්ථාන දෙකක නිදා සිට තිබෙනවා. 

අලුයම් කාලයේ අදාළ ත්‍රීරෝද රථය නවතා තිබූ ස්ථානයෙන් ගමන් කරමින් සිටි පානදුර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ත්‍රීරෝදරථය දැක ඇති අතර එය නිරීක්‍ෂනය කරද්දී එහි කිසිවෙකුත් රැඳී සිට නැහැ. 

වැඩිදුර සොයා බැලීමකදී එක් සැරයන්වරයෙකු වෙනත් ත්‍රීරෝද රථයක බීමතින් නිදා සිටින ආකාරය ස්ථානාධිපතිවරයා දැක තිබෙනවා. 

ඒ අනුව එම සැරයන්වරයා පානදුර උතුර පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. 

අනෙක් සැරයන්වරයා බීමතින් නිදා සිට ඇත්තේ වෙනත් ස්ථානයකයි. 

ඒ අනුව ඔහු සිටි ස්ථානයද සොයා ගෙන බීමතින් සිටි එම සැරයන්වරයාව පානදුර උතුර පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමටද කටයුතු කර ඇත්තේ එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයායි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් සැරයන්වරුන් දෙදෙනා බණ්ඩාරගම සහ පිංවත්ත පොලිස් ස්ථානවලට මාරු කිරීමට පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.