Saturday, January 25, 2025

General line - 0115112241

ඔන්ලයින් දුම්රිය ටිකට් වංචාවට අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු රිමාන්ඩ්

උදය කුමාර




දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන ටිකට්පත් මිලදීගෙන වැඩි මුදල්වලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු අද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ආවේශන අංශය විසින්  සිදුකළ වැටලීමකදී සැකකරු  අත්අඩංගුවට ගෙන තිබුණා. 

ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළේ සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එහිදී පොලිසිය සඳහන් කළේ එම සැකකරු අන්තර්ජාලය ඔස්සේ අදාල ටිකට්පත් ලබාගෙන ඒවා වැඩි මුදල්වලට අලෙවි කර තිබෙන බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇති බවයි. 

ඊට අදාළ ලේඛන රැසක්ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
 

සැකකරු සන්තකයේ තිබී  රුපියල් එක් ලක්ෂ 30,000ක පමණ මුදලක් සොයා ගත් බවත් ඒවා මෙම ටිකට්පත් අලෙවියෙන් උපයාගෙන තිබෙන බවත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 
 

ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. 
 

ඊට අමතරව සැකකරු භාරයේ තිබී සොයා ගත් මුදල් අධිකරණයේ ගිණුමට බැර කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබෙනවා.
 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නියෝග කර තිබුණා