Thursday, January 30, 2025

General line - 0115112241

ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයන් දෙදෙනෙකුට වෙඩි - ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය




අද අළුයම ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බවත් ඊට ඉන්දිය රජය දැඩි විරෝධය පළ කර ඇති බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. 

නවදිල්ලියේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. 

ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේ නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම වෙඩි තැබීම සිදුව ඇතැයි පැවසෙනවා. 

එම අවස්ථාවේ ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු යාත්‍රාව තුළ සිට ඇති අතර ඒ අතරින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ. 

ඔවුන් දෙදෙනා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

සිද්ධියෙන් තවත් ධීවරයන් තිදෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති බවද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

ඉන්දියානු රජය සැමවිටම ජීවනෝපාය පිළිබඳ අවධානය යොමු කරමින් ධීවරයන් සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් මානුෂීය ආකාරයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.