මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ටි්රලියන 1යි දශම 35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති 2025 ආර්ථික සමුළුව අමතමින්.
පසුගිය රජයන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය වීම සිදු නොවූ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
මීට පෙර වැය කර තිබුණේ සියයට 75ක් - 80ක් පමණයි.
නමුත් මෙවර මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.
“ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණා.
දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම සමුළුවේ අරමුණයි.
එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රගතියක් ඇති කිරීමද මෙමඟින් අපේක්ෂා කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා සඳහන් කර සිටියේ මේ වසරේ සියයට 4 ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවයි.
එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ආර්ථික කඩා වැටීම හමුවේ එය අභියෝගයක් වුවත් එය සාර්ථක කරගත හැකි අභියෝගයක් ලෙස ආණ්ඩුව සලකනවා.
එහිදී ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.